Skip to main content

MoT Editor

තීරණාත්මක රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය (NCSOC) වෙත සම්බන්ධ කිරීමේ කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් 2026 පෙබරවාරි 10 වන දින කොළඹ පැරණි පාර්ලිමේන්තු මන්දිරයේදී පවත්වන ලදී. ශ්‍රී ලංකා CERT සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ මෙම සැසිය, රටේ සයිබර් ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ගනු ලැබූ තීරණාත්මක පියවරක් ලෙස හඳුන්වා දිය හැකිය. නූතන ලෝකයේ සයිබර් ආරක්ෂාව යනු තවදුරටත් හුදු තාක්ෂණික කරුණක් පමණක් නොව, එය ජාතික ආරක්ෂාව, ආර්ථික ස්ථාවරත්වය සහ පොදු ජන විශ්වාසය කෙරෙහි සෘජුව බලපාන ජාතික වැදගත්කමකින් යුත් කරුණක් බව මෙහිදී අවධාරණය කෙරිණි.

මෙම වැඩසටහනේදී විශේෂයෙන් අවධානය යොමු වූයේ සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය සමඟ රජයේ තීරණාත්මක තොරතුරු යටිතල පහසුකම් ක්‍රියාත්මක වන සියලු ආයතන සම්බන්ධ කිරීම කෙරෙහිය. කැබිනට් තීරණ ඔස්සේ මේ සඳහා අදාළ ප්‍රතිපත්තිමය තීරණ දැනටමත් ලබාගෙන ඇති අතර, මෙම වසර අවසානය වන විට සෙසු රාජ්‍ය ආයතනද සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ කිරීම මෙහි දෙවන අදියරය වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. එහිදී තීරණාත්මක රාජ්‍ය ආයතන සඳහා මූලිකත්වය හිමි වන අතර එම ආයතන ජාතික විගණන කාර්යාලය ඔස්සේ විගණනයට ලක් කිරීමටද සැලසුම් යොදා ඇත. මීට අමතරව සියලුම රාජ්‍ය නිලධාරීන් ඩිජිටල් ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කිරීම සහ ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබා දීමේ ක්‍රියාවලිය නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කරන ලදී.

ඩිජිටල් ආර්ථිකය කරා යන ගමනේදී සයිබර් ඔරොත්තු දීමේ හැකියාව රාජ්‍ය පාලනයේ සහ සේවා සැපයීමේ මූලික අංගයක් ලෙස සැලකිය යුතු බව මෙහිදී ප්‍රකාශ විය. රාජ්‍ය වෙබ් අඩවි විකෘති කිරීම, රන්සම්වෙයාර් ප්‍රහාර සහ තොරතුරු සොරකම් කිරීම වැනි සයිබර් තර්ජන හමුවේ අත්‍යවශ්‍ය සේවාවන් බිඳවැටීම වැළැක්වීමට සහ කළමනාකරණය කිරීමට මෙම නව ක්‍රමවේදය මගින් අවස්ථාව සැලසේ. ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය හරහා රාජ්‍ය ආයතනවලට තථ්‍ය කාලීන තර්ජන අධීක්ෂණය, පූර්ව අනතුරු ඇඟවීම් සහ විධිමත් සම්බන්ධීකරණයකින් යුත් ප්‍රතිචාර දැක්වීමේ පහසුකම් සැලසෙන බැවින්, මෙය හුදෙක් අනුකූලතා අභ්‍යාසයක් නොව ආයතනික විශ්වාසනීයත්වය වෙනුවෙන් කරන ආයෝජනයක් ලෙස හඳුන්වා දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ශ්‍රී ලංකා CERT ආයතනයේ සභාපති තිලක් පතිරගේ සහ ශ්‍රී ලංකා CERT ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කනිෂ්ක කරුණාසේන ඇතුළු පිරිසක් සහභාගී වූහ. එසේම රජයේ තීරණාත්මක තොරතුරු යටිතල පහසුකම් ක්‍රියාත්මකවන බවට හඳුනාගෙන ඇති රාජ්‍ය ආයතයන්හි (37 ක) ප්‍රධාන නිලධාරීන් රැසක් ද මේ සඳහා සහභාගී විය.

image 01image 02image 03image 05image 04image 06

MoT Editor

ඉන්දියාවේ බරෝදා කෞතුකාගාරයේ අතිශය සුරක්ෂිතව තැන්පත් කර තිබූ, ඉන්දියාවෙන් බැහැරට මෙතෙක් වැඩම කර නොමැති ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රථම වතාවට ශ්‍රී ලාංකික ජනතාවගේ වන්දනාමානය සඳහා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කිරීම ඇරඹිනි.

මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් ඊයේ (07) දින ගංගාරාම විහාරස්ථානයට පැමිණි ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා, ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, පෙබරවාරි මස 05 වනදා සිට 11 වනදා දක්වා දින හතක කාලයක් පුරා පැය 24 මුළුල්ලේ මෙම සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන බවත් මෙරට බෞද්ධ ජනතාවට සිය ජීවිත කාලය තුළ හිමිවන ඉතා දුර්ලභ අවස්ථාවක් වන මෙම අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සලසා ඇති බවත් ය.

එමෙන්ම අතිමහත් ජනකායක් වන්දනාමාන කිරීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් ඒ සඳහා උපරිම පහසුකම් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

දේශීය මෙන්ම විදේශීය බැතිමතුන් සඳහා ද අවශ්‍ය ආරක්ෂාව සහ මඟපෙන්වීම් ලබා දීමට රජය සහ විහාරස්ථ දායක සභාව පියවර ගෙන ඇති බවත්, මෙම දුර්ලභ අවස්ථාව මග හැර නොගෙන, මෙම අති උතුම් සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගන්නා ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා මෙරට සමස්ත ජනතාවට ඇරයුම් කර සිටියි.

image 01image 02image 03image 05image 04image 06

MoT Editor

ශ්‍රී ලංකාවේ ඩිජිටල් රාජ්‍ය පාලන ක්‍රියාවලිය නව මානයකට ඔසවා තබමින්, මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරුණු ‘GovPAY’ රථවාහන දඩ මුදල් ගෙවීමේ ව්‍යාපෘතිය 2026 පෙබරවාරි 03 වන දින සාර්ථකව නිම කරන ලදී. 2025 අප්‍රේල් මාසයේදී පොලිස් ස්ථාන 11ක් කේන්ද්‍ර කරගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස ඇරඹි මෙම වැඩපිළිවෙළ, අද වන විට දිවයිනේ සියලුම පළාත් 9ම ආවරණය වන පරිදි ඉතාමත් විධිමත් ලෙස ව්‍යාප්ත කර තිබේ. මෙය හුදෙක් තාක්ෂණික මෙවලමක් පමණක් නොව, මහජනතාවට වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුත් රාජ්‍ය සේවාවක් ලබාදීම වෙනුවෙන් තැබූ දැවැන්ත පියවරකි.

මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිට මේ දක්වා රුපියල් මිලියන 115කට අධික දඩ මුදල් ප්‍රමාණයක් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ රජයට එකතු කර ඇති අතර, සාර්ථකව සිදු කරන ලද ඩිජිටල් ගනුදෙනු සංඛ්‍යාව 86,000 ඉක්මවා තිබේ. දිවයිනේ ප්‍රමුඛ පෙළේ සියලුම බැංකු සහ ෆින්ටෙක් (Fintech) යෙදවුම් හරහා මෙම ගෙවීම් කිරීමේ හැකියාව පවතින අතර, වඩාත් විශේෂිත කරුණ වන්නේ මේ සතියේ සිට දිවයින පුරා විසිරී ඇති 55,000කට අධික Dialog eZ Cash නියෝජිතයන් හරහා අතැති මුදලින් (Cash) දඩ මුදල් ගෙවීමේ පහසුකම ද මහජනතාව වෙත විවෘත වීමයි.

මෙම දැවැන්ත ජයග්‍රහණය පසුපස ප්‍රවාහන, මහජන ආරක්ෂක සහ ඩිජිටල් ආර්ථිකය යන අමාත්‍යාංශවල මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), ලංකාපේ (LankaPay) සහ ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) ඇතුළු ආයතන රැසක කැපවීම සහ සහයෝගීතාවය පවතියි. 2024 නොවැම්බර් මාසයේ සිට ආරම්භ වූ මෙම වැඩපිළිවෙළ, අඛණ්ඩ පුහුණු වැඩමුළු සහ ක්‍රියාවලි සම්බන්ධීකරණය හරහා වර්තමානය වන විට ජාතික මට්ටමේ සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන ඇත. මින් ඉදිරියට රියදුරන්ට ඕනෑම ස්ථානයක සිට ක්ෂණිකව (On-the-spot) දඩ මුදල් ගෙවා තම රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව හිමිවන අතර, එය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවටම ලැබුණු සුවිශේෂී පහසුවකි.

image 01image 02image 03image 05image 04image 06

MoT Editor

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෘත්තීය ආයතනයක් වන BCS ශ්‍රී ලංකා අංශය (The Chartered Institute for IT - Sri Lanka Section) විසින් සංවිධානය කරන ලද "Tech Leaders Connect ‘26" සමුළුව පසුගියදා කොළඹ Courtyard by Marriott හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි. මෙරට ඩිජිටල් ආර්ථිකයේ මීළඟ දශකය සහ ඒ සඳහා ඇති අභියෝග මෙන්ම අවස්ථා පිළිබඳව ක්ෂේත්‍රයේ විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ගරු, ඩිජිටල් ආර්ථිකය නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා, ශ්‍රී ලංකාවේ අනාගත ඩිජිටල් දැක්ම සහ එය යථාර්ථයක් බවට පත්කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව සිය අදහස් ඉදිරිපත් කළේය.

මෙහිදී අදහස් දැක්වූ එරංග වීරරත්න මහතා අවධාරණය කළේ, ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ ජාතික ඩිජිටල් දැක්ම විය යුත්තේ හුදෙක් තාක්ෂණය භාවිතා කිරීම පමණක් නොව, එය ජන ජීවිතය සහ ආර්ථිකය සමඟ බද්ධ වූ පරිපූර්ණ ඩිජිටල් පද්ධතියක් (Digital Ecosystem) නිර්මාණය කිරීම බවයි. එම දැක්ම සාර්ථක කර ගැනීම සඳහා මූලික ප්‍රමුඛතා කිහිපයක් එක් විය යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, සෑම පුරවැසියෙකුටම පහසුවෙන් ළඟා විය හැකි ආරක්ෂිත ඩිජිටල් යටිතල පහසුකම් ස්ථාපිත කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. තවද, දත්ත මත පදනම් වූ රාජ්‍ය පාලන ක්‍රමවේදයක් හරහා විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමත්, ගෝලීය වෙළඳපොළ ජයගත හැකි නවෝත්පාදන සංස්කෘතියක් රට තුළ ප්‍රවර්ධනය කිරීමත් රජයේ මූලික අරමුණක් බව එතුමා සඳහන් කළේය.

මෙම දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේදී රජය මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය. විශේෂයෙන්ම රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීම සහ ඩිජිටල් හැඳුනුම්පත් ක්‍රමවේදය කඩිනම් කිරීම වැනි ප්‍රමුඛ ක්‍රියාවලීන් හරහා ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට රජය ප්‍රමුඛත්වය ලබා දී ඇත. කෙසේ වෙතත්, මෙම ගමනේදී පවතින ප්‍රධාන ක්‍රියාත්මක කිරීමේ අභියෝග පිළිබඳව ද අමාත්‍යවරයා විග්‍රහයක යෙදුණි. විශේෂයෙන්ම පවතින පැරණි නීතිමය රාමු යාවත්කාලීන කිරීම, අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සහ දක්ෂ වෘත්තිකයින් මෙරට තුළ රඳවා ගැනීම වැනි කරුණු ක්‍රියාත්මක කිරීමේදී මතුවන විශාලතම බාධාවන් බව එතුමා පෙන්වා දුන්නේය.

මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය Sysco LABS ශ්‍රී ලංකා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ තුෂේර කව්දවත්ත මහතා විසින් පවත්වන ලදී. ඉන් අනතුරුව පැවති විශේෂ මණ්ඩල සාකච්ඡාව සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු චතුරංග අබේසිංහ මහතා සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා ද සහභාගී වූහ. එහිදී ක්ෂේත්‍රයේ සූදානම, ධාරිතාව ගොඩනැගීම සහ වෘත්තීය ආයතනවල වගකීම පිළිබඳව වැදගත් කරුණු රැසක් එයිචිරෝ ඇලන්සෝ ඩෝල් මහතාගේ මෙහෙයවීම යටතේ සාකච්ඡා කෙරිණි.

image 01image 02image 03

MoT Editor

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීකරණය කිරීම සඳහා නිර්මාණය කරන ලද කෘෂිකර්ම ව්‍යවසාය රාමුව, දත්ත හුවමාරු ප්‍රතිපත්ති සහ CROPIX ජාතික ඩිජිටල් වේදිකාව පසුගිය දා (22) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී නිල වශයෙන් එළිදක්වන ලදී.

කෘෂිකර්ම අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ගේට්ස් පදනමේ මූල්‍ය ආධාර ඇතිව සංවිධානය කරන ලද මෙම වැඩපිළිවෙළ, මෙරට කෘෂිකාර්මික පාලන ක්‍රමවේදය නවීකරණය කරමින් සාක්ෂි මත පදනම් වූ තීරණ ගැනීම සඳහා ශක්තිමත් පදනමක් සපයයි.

විසිරී පවතින දත්ත පද්ධති ඒකාබද්ධ කරමින් ගොඩනගන ලද මෙම ඩිජිටල් පොදු යටිතල පහසුකම (DPI) මගින් රාජ්‍ය ආයතන අතර දත්ත හුවමාරුව කාර්යක්ෂම කරමින් ක්ෂේත්‍රයේ පවතින බාධාවන් ඉවත් කිරීමට අපේක්ෂා කෙරේ.

මෙහිදී අදහස් දැක්වූ ගරු, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කළේ මෙය මෙරට කෘෂිකාර්මික පාලනයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් බවයි. ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ගරු එරංග වීරරත්න මහතා සඳහන් කළේ, මින් ඉදිරියට ගොවීන්ට ලිපිගොනු පසුපස යාමට අවශ්‍ය නොවන බවත්, දත්ත පද්ධති අතර ස්වයංක්‍රීයව හුවමාරු වීම හරහා කාර්යක්ෂම සේවාවක් සැලසෙන බවත්ය. එසේම ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ප්‍රකාශ කළේ, මෙමගින් ජාතික ඩිජිටල් න්‍යාය පත්‍රය කෘෂිකාර්මික ක්ෂේත්‍රයට ව්‍යාප්ත වන අතර, දත්ත මගින් ප්‍රතිපත්තිමය බලපෑම් ඇති කළ හැකි බවයි.

image 01image 02image 03image 05image 04image 06

MoT Editor

ශ්‍රී ලංකාවේ අපනයන හැකියාවන් සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් "Sri Lanka Expo 2026" නමින් ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් දියත් කරන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අද ( ජනවාරි 9 ) නිල වශයෙන් දැනුම් දෙන ලදී. ප්‍රදර්ශනයට අදාළ නිල වෙබ් අඩවිය වන www.srilankaexpo.lk දියත් කිරීමද මෙහිදී සිදු කළ අතර දේශීය ප්‍රදර්ශකයින් සහ විදේශීය ගැනුම්කරුවන්ට අන්තර්ජාලය හරහා ලියාපදිංචි වීමට පහසුකම් සලසා ඇත.

2026 ජුනි 18 සිට 21 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට නියමිත මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනය මගින් ශ්‍රී ලංකාවේ අපනයන හැකියාවන් සහ ආයෝජන අවස්ථා ජාත්‍යන්තරය වෙත ප්‍රදර්ශනය කරනු ඇත.

ශ්‍රී ලංකා එක්ස්පෝ 2026" නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, City of Dreams හි Cinnamon Life හිදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා බලශක්ති හා බල අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, විද්‍යා හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමිකා උඩුගමසූරිය මහතා, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා, අමාත්‍යංශ ලේකම්වරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන්, බැංකු සහ වාණිජ මණ්ඩල නියෝජිතයන්, ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 සමඟ සහයෝගී ආයතනවල ප්‍රධානීන්, අපනයනකරුවන් සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීන් ඇතුළු රැසක් එක්ව සිටියහ.

image 01image 02image 03image 05image 04image 06

MoT Editor

ෆින්ලන්තයේ Oulu විශ්වවිද්‍යාලයේ සහ මදුරාසියේ Indian Institute of Technology (IIT) ආයතනයේ නියෝජිතයින් සහ ගරු, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා අතර සාකච්ඡාවක් ඊයේ දින (07) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණ.

ජාත්‍යන්තර අධ්‍යයන සහයෝගීතාව වර්ධනය කිරීම, නවෝත්පාදනය ශක්තිමත් කිරීම අරමුණු කරගත් තාක්ෂණික පර්යේෂණ සහ සංවර්ධන ආයතනයක් ශ්‍රි ලංකාවේ ස්ථාපිත කිරීම වෙනුවෙන් වන යෝජනා ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. එමෙන්ම ශ්‍රී ලංකාවේ ඩිජිටල් පර්යේෂණ පරිසර පද්ධතිය ශක්තිමත් කිරීම සහ ඊළඟ පරම්පරාවේ තාක්ෂණයන් සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ලෙස රට ස්ථානගත කිරීම සඳහා අවස්ථා ගවේෂණය කිරීම පිළිබ්ඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණ.

Oulu විශ්ව විද්‍යාලයේ 6G ප්‍රමුඛතා වැඩසටහන, මදුරාසියේ IIT ආයතනයේ නවෝත්පාදන පද්ධතිය ඇතුළු අති නවීන පර්යේෂණ මුලපිරීම් පිළිබඳ ඉදිරිපත් කිරීම් මෙහිදී පෙන්වා දෙනු ලැබීය. නවෝත්පාදනයන් ඉදිරියට ගෙන යාම, ගෝලීය හවුල්කාරිත්වයන් පෝෂණය කිරීම සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික පරිවර්තනයට සහාය වීම කෙරෙහි අවධානය යොමු කරමින්, යෝජිත පහසුකමේ අරමුණු, ව්‍යුහය සහ දිගුකාලීන බලපෑම පිළිබඳ පුළුල් සාකච්ඡාවක් සඳහා මෙහිදී ආරම්භය සනිටුහන් විය.

මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක හාන්ස් විජයසූරිය, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශ ලේකම් (වැඩබලන) වරුණ ධනපාල, SLT -Mobitel ආයතනයේ සභාපති ආචාර්‍ය මොතිලාල් ද සිල්වා, OULU විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අරි පූට්ටු (මාර්ගගතව), මහාචාර්ය නන්දන රාජතේව, IIT මදුරාසි හි මහාචාර්ය ඩේවිඩ් කොයිල්පිල්ලෙයි, ආචාර්ය ශංකර් මහාචාර්‍ය රාමන්, කිත්සිරි ලියනගේ (UoP), ඇතුළු රාජ්‍ය නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.

image 02image 03image 05image 04image 06

MoT Editor

දිට්වා සුළි කුණාටුවෙන් පසු බලපෑමට ලක් වූ ප්‍රදේශවල සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙළට සහාය වීම සඳහා ඩයලොග් සමාගම විසින් රුපියල් මිලියන 420 ක මුදලක් පරිත්‍යාග කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමට ඊයේ (05) අත්සන් තැබිණ.

හලාවත දිස්ත්‍රික් මහ රෝහල, කොත්මලේ ප්‍රාදේශීය රෝහල, මඩුල්කැලේ ප්‍රාදේශීය රෝහල සහ පුත්තලම මූලික රෝහලේ පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සහ සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ පාසල් 20 කට වැඩි ගණනක පරිගණක විද්‍යාගාර ප්‍රතිසංස්කරණය කිරීම මෙමගින් සිදුකිරීමට නියමිතය.

ගරු, අග්‍රාමාත්‍ය හරිණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාව සඳහා ගරු, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ අමාත්‍යංශ ලේකම්වරුන්, රාජ්‍ය නිළධාරීන් ඇතුළු ඩයලොග් ආයතනය නියෝජනය කරමින් පිරිසක් සහභාගී වූහ.

image 01image 02image 05image 04image 06

MoT Editor

ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය (ඉංජිනේරු) එරංග වීරරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ කසකස්තාන් සමූහාණ්ඩුවේ තානාපති සර්ජි වික්ටෝරොව් (Sergey Viktorov) මහතා අතර සාකච්ඡාවක් අද (05) දින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙම හමුවේදී කසකස්තානයේ කෘතිම බුද්ධි (AI) දත්ත මධ්‍යස්ථානවල ප්‍රගතිය, මෙරට ජාතික කෘතිම බුද්ධි මුලපිරීම් සහ GovTech ආකෘති හරහා රජයේ මෘදුකාංග විසඳුම් ලබා දීම පිළිබඳව අවධානය යොමු විය. එමෙන්ම කසකස්තානයේ තාක්ෂණික පද්ධතියට ශක්තියක් වන තොරතුරු තාක්ෂණ සහ ඩිජිටල් අධ්‍යාපන රාමු පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනුණි.

තොරතුරු හුවමාරුව, ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය, ධාරිතා වර්ධනය සහ දෙරටේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ තාක්ෂණික ආයතන අතර හවුල්කාරිත්වයන් ඇතුළු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ හැකියාවන්, ද්විපාර්ශ්වික සහයෝගීතා අවස්ථා පිළිබඳව ද මෙම සංවාදයේදී අවධාරණය කෙරිණි. නවෝත්පාදනය, ඩිජිටල් පරිවර්තනය සහ ඩිජිටල් ආර්ථිකය තුළ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වර්ධනයක් ඇති කිරීම සඳහා සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා වන දෙපාර්ශවයේ උත්සාහයන් සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරිණ.

image 01image 02image 03

MoT Editor

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G තරංග මාලා (5G spectrum) බලපත්‍ර නිල වශයෙන් පිරිනැමීමේ උත්සවය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් පවත්වන ලදී.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික දැක්ම සැබෑ කර ගැනීම සඳහා 5G තාක්ෂණය හඳුන්වා දීම අත්‍යවශ්‍ය සාධකයකි. අධික වේගය, අතිශය අඩු ප්‍රමාද කාලය (ultra-low latency) සහ ඉහළ විශ්වසනීයත්වය සහිත මෙම තාක්ෂණය මගින් දැවැන්ත පෙරළියක් අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික දැක්ම සාර්ථක කර ගැනීම සඳහා 5G තාක්ෂණය හඳුන්වා දීම අතිශය තීරණාත්මක සාධකයකි. අධික වේගය, ඉතා අඩු ප්‍රමාද කාලය (ultra-low latency) සහ ඉහළ විශ්වසනීයත්වය සහිත 5G තාක්ෂණය හරහා කර්මාන්ත, සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහන හා සැපයුම් ජාල (logistics), ස්මාර්ට් නගර සහ පොදු සේවාවන් යන ක්ෂේත්‍රවල විශාල පෙරළියක් අපේක්ෂා කෙරේ. එසේම, නවෝත්පාදන සහ ව්‍යවසායකත්වය සඳහා නව අවස්ථා රැසක් මෙයින් උදාවනු ඇත.

ශ්‍රී ලංකාව තුළ බලපත්‍ර සහිත 5G සේවා ක්‍රියාත්මක කිරීමේ ආරම්භය සනිටුහන් කරමින්, ඩයලොග් ආසිආටා (Dialog Axiata PLC) සහ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් (SLT Mobitel) යන සමාගම් වෙත නිල වශයෙන් තරංග මාලා බලපත්‍ර පිරිනමන ලදී. ශ්‍රී ලංකාවේ මීළඟ පරම්පරාවේ ජංගම ජාල යටිතල පහසුකම් දියුණු කිරීමේ වගකීම මෙහිදී මෙම ආයතන වෙත පැවරිණි.

මෙම අවස්ථාවට ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න,විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති වරුණ ශ්‍රී ධනපාල, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත්, සහ වෙන්දේසි කමිටුවේ සභාපති ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන් සහභාගී වූහ.

එසේම, ඩයලොග් ආසිආටා සමාගමේ අධ්‍යක්ෂ සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා, මොබිටෙල් (පුද්ගලික) සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා ඇතුළු විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පාර්ශවකරුවන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

image 01image 02image 05image 03image 04image 06